ලංකාවේ හමුදා භටයින්ට පුහුණු පහසුකම් සැලසීමටත්, මෑතකදී බඳවා ගන්නා ලද පොලිස් භටයින්ට ඉන්දියානු ආයතනවල පුහුණුව ලබාදීමටත් ඉන්දියාව එකඟවූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දියානු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං අතර අද නව දිල්ලියේදී පැවති සාකච්ඡාවේදී මෙම එකඟත්වයට පැමිණි බවත් මෙහිදී දෙරට අතර හමුදා නියෝජිත පිරිස් හුවමාරුවටත් දෙරට අතර ආරක්ෂක කටයුතු පිළිබඳ සංවාදයක් පැවැත්වීමටත් තීරණය වූ බව සඳහන්ය.
මීට අමතරව, කොළඹ සහ තූත්තුකුඩිය අතරත්, තලෙයි මන්නාරමේ සිට රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවයන් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පිළිගත් නායක දෙපළ ඒ සඳහා හැකි ඉක්මනින් පියවර ගැනීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
එසේම, ඉන්දියානු කොන්සලේට් කාර්යාල යාපනයේ හා හම්බන්තොට පිහිටුවීමට එකඟත්වයට පැමිණි බවත් අවතැන් වූවන් උදෙසා නව නිවාස පනස් දහසක් ඉදිකිරීමේ වැඩසටහනටද සහයෝගය ලබාදීමට ඉන්දියාව එකඟවූ බවත් සඳහන්ය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ගිවිසුම් හතකට අත්සන් කෙරුණි.







0 comments:
Post a Comment