සිදුහත් කුමාරෝත්පත්තිය ද, ශ්‍රී සම්බුද්ධත්වය ද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ද යෙදුණු වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබන උතුම් ම දිනයයි. අපට එම උතුම් දිනය අර්ථාන්විත ලෙස ගතකළ හැක්කේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීමෙනි.පංච ශීලයෙහි පිහිටි අප විසින් ජීවිත හානිකිරීම්, ලේ වැගිරීම්, හිංසා පීඩාවන් කිසිසේත් අනුමත නොකෙරේ. තිස් වසරක් තිස්සේ පැවති ලේ වැගිරීම්, ජීවිත හානි මුළුමනින්ම නතර කර මේ වෙසක් මංගල්‍යය සැමරීමට ලැබීම අප තුළ දනවන්නේ නිරාමිස ප්‍රීතියකි. ඒ සඳහා අවැසි නිදහස ද ආරක්ෂාව ද අප බෞද්ධ ජනතාව භුක්ති විඳිනු දැකීම මහත් භාග්‍යයකි.
මෙම චිත්තප්‍රීතිය සදා අප සිත් තුළ රඳවා ගැනීමට නම් අප වඩ වඩාත් ධාර්මික ජීවිතයකට අවතීර්ණ විය යුතුය. මෛත්‍රීයෙන් ද, කරුණාවෙන් ද, මුදිතාවෙන් ද, උපේක්ෂාවෙන් ද යුතු ජීවන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. ළඟ නොබලන, දුර බලන, ඉවසීමෙන් සැනසීම ලබා ගැනීමේ බුදු වදන අනුව යන්නා වූ ජාතියක් විය යුතු ය. අතීතයේ සිදු වූ ප්‍රමාදයන් නිවන් මගට බාධාවක් වූයේ නම් අප අප්‍රමාද විය යුතුය.
යො ච පුබ්බේ පමජ්ජිත්වා
පච්ඡා සො නප්පමජ්ජති
සො ඉමං ලොකං පහාසෙති
අබ්හා මුත්තෝව වන්දිමා
“යමෙක් මුලදී පමා වුවත් පසුව නොපමා වේද, ඔහු වලාකුළින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබළවයි” යනු සම්බුද්ධ දේශනාවයි.
ධර්මානුකූලව දිවි ගෙවන්නෝ අතීතයේ දොස් දකිමින් වර්තමානයේ ශෝක නොකරති. ධෛර්යයෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව ධාර්මික දේශයක් ගොඩනැගීම සඳහා බුදුන් සරණ යාමට මේ වෙසක් සමයේ අදිටන් කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!






0 comments:
Post a Comment