පොලිස් නිලධාරීන් 17,000 කට අපරාධ, බුද්ධි, ඔත්තු සේවා, නඩු මෙහෙයවීම ඇතුළු අංශ ගණනාවකින් සමන්විත පූර්ණ කාලීන පුහුණුවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පැවසීය.
පසුගිය කාලයේ පොලීසියට නිලධාරීන් බඳවා ගැනීමේදී නිසි පුහුණුවක් ලබාදීමට නොහැකි විය. ඊට හේතුව තිස් වසරක් පුරා පැවති යුද්ධයයි. එකල පොලිස් නිලධාරීන්ට යුද කටයුතු හා සම්බන්ධයෙන් පුහුණුව ලබා දීමට මූලිකත්වයක් ලබා දුනි. දැන් යුද්ධය අවසන්ය.
පොලිස් නිලධාරීන්ට මහජනයාගේ සිවිල් ජීවිතයට අදාළ කටයුතු මෙහෙයවීමට සම්පූර්ණ අවකාශය ලැබී ඇත. එම නිසා මෙවැනි පුහුණුවක් ලබාදීමෙන් මහජනතාවට විශිෂ්ට පොලිස් සේවාවක් ලබා දියයුතු යැයි ආරක්ෂක ලේකම්වරයා පැවසූ බව පොලිස්පතිවරයා පැවසීය.
අපරාධ, බුද්ධි, රහස් තොරතුරු, ජාත්‍යන්තර කටයුතු, ඔත්තු සේවා, නඩු මෙහෙයවීම, දෙමළ භාෂාව පුහුණුව ඇතුළු සෑම අංශයක්ම මෙම පුහුණු වැඩසටහනට ඇතුළත්වේ. වසරකට 6000 බැගින් වසර 3 ක් ඇතුළත පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබේ.
ඡුනි 1 වැනි දා මෙම පුහුණු වැඩසටහන ආරම්භ වීමට නියමිතය. කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය සහ භාෂා පුහුණු මධ්‍යස්ථානවලදී මෙම පාඨමාලා පැවැත්වේ.මේ අතර පොලිස් ජංගම සේවා වැඩසටහන ද ලබන 1 වැනි දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. පසුගිය කාලයේ විසඳාගැනීමට නොහැකි වූ ජනතා ගැටලුවලට විසැඳුම් ලබා දීමට මෙමඟින් ප්‍රමුඛත්වය ලැබේ.
ඒ අතර රට පුරා ඇති සෑම පොලිසියකටම උප ස්ථානාධිපතිවරයකු පත්කිරීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇත. පොලිස් ස්ථානාධිපති නොමැති අවස්ථාවලදී උප ස්ථානාධිපතිවරයාට මහජනයාගේ තම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීම එහි අරමුණ වේ.
සාමකාමී පරිසරයක් ඇති කිරීමටත්, නීතිය මඟින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට අවස්ථාව සැලසීම ඇතුළු විශිෂ්ට හා කාර්යක්ෂම පොලිස් සේවාවක් ඇතිකිරීමෙන් මහජනතාවට උපරිම සේවයක් ලබා දීමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණවේ.







0 comments:
Post a Comment