චතුර්කාගෙන් අලුත් වැඩක්

19 March 2010 ·

සරසවිය පුවත්පතේ පලවූ ලිපිය ඇසුරෙනි

සුවහසක් යොවුන් සිත් සතන් සෙනෙහසින් වැළැඳගත් යොවුන් රුවත්තිය චතුරිකා පීරිස් මේ දිනවල ගෙවන්නේ දැඩි කාර්යබහුල දිවියක්. පුංචි තිරයෙන් නිතරම අප හමුවට එන චතුරිකා අද දවසේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගෙන සිටින්නේ සිනමා නිළියක් විදහට. ඒ ආනන්ද වික්‍රමසිංහගේ ‘හදවත මල් යායයි’ චිත්‍රපටයේ ඈ රඟන චරිතය සමගින්.


මේ සියල්ල ගැන තොරතුරු දැන ගන්න අපි ඇයත් එකක් පිළිසඳරකට එක් වුණා.


ඉතින්, ලිහිණි කොහොම ද.....?


චතුරිකාගේ මුහුණේ එක්වරම ඇඳුණේ දඟකාර සිනහ රැල්ලක්. ඒ සමගම ඇගේ වතට අමුතුම සුන්දරත්වයක් එක් වුණා වගෙයි.


ලිහිණි, කියන්නේ හදවත මල් යායයි, චිත්‍රපටයේ මම රඟපාන චරිතය. ඇත්තටම සමහරු මට ලිහිණි කියලත් කතා කරනවා. මේ මම සිනමාවේ මෙතෙක් රඟ නොපෑ ආකාරයේ වෙනස්ම චරිතයක්, “හදවත මල් යායයි” විමෝදාත්මක ආදර කතාවක් නේ. ඒ නිසා මේ චිත්‍රපටය හරිම සුන්දරයි.


ලිහිණි, වෙනස්ම චරිතයක් කිව්වා. කොයි වගේ චරිතයක් ද එයා.....?


ඇත්තෙන්ම ලිහිණි හරිම දඟකාර සැහැල්ලු වගේම තොර තෝංචියක් නැතිව කියවන චරිතයක්. එයා වැඩිය කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් කේන්ති නොයන්නේත් නෑ. හැබැයි හරිම සුන්දර කෙනෙක්.


ඒ කියන්නේ ලිහිණි හරියට ඔයා වගේ.....?


ටිකක් මම වගේ තමයි. වෙනසකට තියෙන්නේ මම එච්චර කියවන කෙනෙක් නෙවෙයිනේ.


ආනන්ද වික්‍රමසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්වරයෙක් යටතේ මෙවැනි චරිතයක් රඟපාන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ.....?


ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මේ චරිතය මට හොඳ අවස්්ථාවක්. මොකද ගොඩක් වෙලාවට ලැබෙන චරිත ඒකාකාරියි කියලා මට හිතෙනවා. නමුත් මේක වෙනස්. මට විතරක් නෙවේ මගේ පරම්පරාවේ කාටවත් මේ වගේ් චරිතයක් සිනමාවේ රඟපාන්න ලැබිලා නැහැ.


විශේෂයෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක ආනන්ද වික්‍රමසිංහ මහතා ගැන යමක් කියන්න ඕනෑ. ඔහු අධ්‍යක්ෂවරයෙක් විතරක් නෙවෙයි. මානුෂික ගුණාංගවලින් පිරුණු හොඳ මහත්මයෙක්. ආනන්ද අංකල් සහ ඔහුගේ බිරිය දරුවෙක් වගේ මගේ ගැන හොයලා බැලුවා. විශේෂයෙන්ම මගේ කෑම, බීම, ඉඳුම් හිටුම් ගැන. දරුවෙකුට වගෙයි ඒ අය මට සලකුවේ. ඒ කාලය ගෙවිලා ගියේ හරිම සුන්දර විදිහට.


මේ සියලු පහසුකම් මැද්දේ ලිහිණිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න ඔයාට පුළුවන් වුණා කියලා හිතෙනවාද?


මම කිව්වේ මේ වගේ චරිතයක් මීට කලින් මම රඟපාලා නැහැ කියලා. ඇත්තෙන්ම ටිකක් අභියෝගයක් වුණ චරිතයක්. ඩබිං කරන්න ගියාම හරිම අමාරු වුණා. මොකද මම අර කලින් කිව්වා වගේ ලිහිණි හරි වේගයෙන් කතා කරන කෙනෙක් නේ. නමුත් මම හිතනවා ඒ අභියෝග සියල්ලටම හොඳින් මුහුණ දෙන්න මට පුළුවන් වුණා කියලා.


විශේෂයෙන්ම චන්න අයියාට, මට වගේම චිත්‍රපටයේ රඟපෑ සෙසු නළු නිළියන්ට තිබුණ මානසික නිදහස නිසා තම තමන්ගේ කාර්යභාරය මේ හැමෝටම හොඳින් කරන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා.


චිත්‍රපටය නරඹපු ගොඩක් අය කියන්නේ ඔයාගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා හරිම ලස්සනයි කියලයි?


මගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කළේ රමණී අලකොලංග. ඇය මට ලොකු සහයක් දුන්නා. ඇත්තටම මගේ ඇඳුම් හරිම ලස්සනයි. ඒ වගේම මාව හැඩ ගැන්වූ නන්දේ අයියා සහ කොණ්ඩා මෝස්තර නිරූපණය කළ ලලිත් අයියාවත් මේ වෙලාවේ මතක් කරනවා. ලලිත් අයියා මගේ කොණ්ඩෙට කිසිම හානියක් නොවෙන විදිහට මගේම කොණ්ඩය විවිධ විලාසිතාවලින් සැරසුවා.


එතකොට කොහොමද හිමාල්ගෙන් ඔයාට ලැබුණ සහයෝගය.....?


හිමාල්, මගේ පෙම්වතා, ඒ චරිතය රඟපෑවේ චන්න අයියා. ඇත්තෙන්ම මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මේ රංගනයේ දී. පුංචි තිරයේත් මගේ මුල්ම පෙම්වතා වුණේ චන්න අයියා. ඒ “සුරිය දරුවෝ” ටෙලි නාට්‍යයේ. ඉතින් අපි දෙන්නා අතර මේ කාර්යයේදී සහසම්බන්ධයක් තිබුණා. රංගන කාර්යයේ දී අපිට එකිනෙකා හොඳින් තේරුම් ගන්න පුළුවන්.


මේ දවස්වල චතුරිකා මොනවද කරන්නේ?


නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන “සුළං කපොල්ල” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ ෂූටිං තියෙන්නේ කොළඹ සහ නුවර. ඒක නිෂ්පාදනය කරන්නේ මගේ තාත්තා. ඒ කියන්නේ “ චලරූ” නිෂ්පාදන ආයතනය මගින්.


මොන වගේ චරිතයක් ද චතුරිකා රඟපාන්නේ......


පෙම්වතියක් සහ බිරිඳක් විදිහට රඟපානවා. ඒ කියන්නේ මුලින්ම පෙම්වතිය. ඈ විවාහ වුණාට පස්සේ බිරිඳගේ භූමිකාව. පෙම්වතා විදිහට රඟපාන්නේ කංචන කොඩිතුවක්කු. සැමියා විදිහට රොෂාන් තමයි රඟපාන්නේ.


ප්‍රගීත් රත්නායක අධ්‍යක්ෂණය කරන “ආදරෙයි මං ආදරෙයි” චිත්‍රපටයේ තවත් දර්ශන කිහිපයක් රූගත කරන්න තියෙනවා. ලබන මාසේ 22 න් පස්සේ ඒක පටන් ගන්නවා. ප්‍රගීත් ගේ මුල්ම සිනමා පටයට මම රංගනයෙන් දායක වුණේ හරිම සතුටකින්.


“ස්වයංජාත” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් දැන් අවසාන ද.....?


ඒකෙත් තව පොඩ්ඩක් ෂුටිං තියෙනවා. මැතිවරණ කටයුතු නිසා ඒක මුලින් කල් දාන්න සිද්ධ වුණා. කොහොම වුණත් “ස්වයංජාත” මට ලැබුණ හොඳ අවස්ථාවක්.


ඇයි ඒ......?


මම ඒකෙ රඟපාන්නේ ජීවිතය දිහා ගැඹුරින් බලන තරුණියකගේ චරිතයක්.එවැනි අධ්‍යාත්මික ගුණයෙන් යුත් චරිත රඟපාන්න ලැබෙන්නේ කලාතුරකින්. දැන් මම “සුළං කපොල්ල” ටෙලි නාට්‍යයේ රඟපෑවේ මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. මම ආසයි මේ ටෙලි නාට්‍යය දෙකම එකම කාලෙක විකාශය වෙනවා නම්.


මොකද එතකොට ඒ වෙනස කොයි වගේ ද කියලා ප්‍රේක්‍ෂකයන්ටත් දැක බලා ගන්න පුළුවන්.


හරි, එතකොට කොහොමද ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු එහෙම.....?


ඕවා තමයි ඉතින්. සුපුරුදු විදිහට කලා කටයුතුවල යෙදී ඉන්නවා.


එහෙම නෙවෙයි මම ඇහුවේ ඔයාගේ අතිශය පෞද්ගලික තොරතුරු.....?


ඔයා අහන්නේ මගේ ආදරය, විවාහය ගැන කරුණු වෙන්නැති. ඇත්තටම ඒවා දැන් පෞද්ගලික නැහැ. හැමෝම දන්නවා.


එහෙනම් හංගන්නේ නැතිව කෙලින්ම කියන්න කවදාද විවාහය කියලා.....?


අපි දෙන්නට හොඳම කාලය එනකල් ඉන්නවා. මම හිතන්නේ ගෙවල්වලින් අපට දැනුම් දීලා තියෙන්නේ 2011 න් පස්සේ මේ කටයුත්ත සිදු කරන්නයි. මම හිතන්නේ අපේ කේන්දරවලත් තියෙන්නේ ඒ කාලය තමයි විවාහයට සුදුසු කියලා. වෙලාව ආපුවාම ඒ ගැන ඔයාලට කියන්නම්කෝ, සරසවියේ” අයට පුදුම හදිස්සියක් නේ තියෙන්නේ අපි දෙන්නව කසාද බන්ඳන්න.


ආ...... ඒ කියන්නේ 2011 වෙනකල් තව ටිකක් ජොලියේ, සැහැල්ලුවේ ජීවිතේ ගත කරනවා.....?


මොන සැහැල්ලුවක් ද....? මේ ගෙවෙන්නේ අපේ ජීවිතයේ හොඳම කාලය. අපි රටේ සංවර්ධනයට උදවු කරන අය. මේ කාලේ ගෙවල්වලට වෙලා අතපය අකුලවගෙන ඉඳලා හරියන්නේ නැහැනේ. පුළුවන් තරම් කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ.


ඔයා කොහොමද රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්නේ.....?


ඇයි මම ආදායම් බදු ගෙවන නිළියක්නේ. අපේ කලා හැකියාවක් රටට පෙන්නලා ඒ ලැබෙන මුදලින් රටට ආදායම් බදුත් ගෙවනවා. මම කවදාවත් ඒක පැහැර හැරලා නැහැ.


රොෂාන් කිව්වොත් විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා. මොකද කරන්නේ.....?


නෑ, එයා කවදාවත් එහෙම කියන්නේ නෑ.මම සමහරු දේවලින් මග හරිද්දී එයා තමයි කොහොම හරි මේක කරන්න කියලා මාව ඉදිරියටම තල්ලු කරන්නේ. ඒ රොෂාන් ගේ හැටි.


මේ වගේ ක්ෂේත්‍රයක කටයුතු කරද්දී ඕපාදුප, කට කතාවලට ගොදුරු වෙනවා වැඩියි. ඒ අත්දැකිම් ඔය දෙන්නටත් ඇති.....?


අපි, අපිව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ, රොෂාන් සමීපව ආශ්‍රය කරන්නේ කවුද කියන එකත්, මම ළඟ ඇසුර තියෙන්නේ කාත් එක්කද කියලා අපි, අපි දන්නවා. ඉතින් අපි අතරේ එහෙම ගැටලුවක්, අවිශ්වාසයක් නැහැ. අනෙක අපි අපේ නිදහස සීමා කරගෙනත් නැහැ.


චතුරිකාට, රොෂාන් ආදරේට කතා කරන්නේ මොනවා කියලා ද.....?


චතූ කියනවා. ආයේ බබා කියලා කියනවා.ඒ ආදරේට. හැබැයි තරහා ගිය වෙලාවට කතා කරන්නේ පීරිස් කියලා.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.